Corona මේ වනවිට ලෝකයේම වැඩිම අවධානය දක්වන මාතෘකාව වුණත් බොහෝ දෙනාගෙන් අහන්න ලැබෙන්නේ ධෛර්යය, සැනසීම උපදවන දේවල් නෙවෙයි. බය ගන්වන දේවල් හැමතැනම.
ඒත් ලෙඩේට මුහුණ දීපු චීනය දවස ගානේ කළේ තමන්ගේ රටේ මිනිස්සුන්ට සැනසීමක් ඇතිකරගන්න පුළුවන් දේවල්. අඩු තරමේ ඒ වෙනුවෙන් දරන්න පුළුවන් උපරිම උත්සාහය ඒ අය දරමින් ඉන්නවා.
මේ ඉස්පිරිතාලයත් ඒ වගේ Superhero වැඩක්.
වුහාන් කියන්නේ මිලියන 11ක ජනගහනයක් ජීවත් වෙන ප්‍රදේශයක්. හැම රෝහලක්ම පාහේ පිරී ඉතිරි ගිහින් කියන එක අතිශයෝක්තියක් නෙවෙයි. ලංකාවේ රජයේ රෝහල්වල වසංගත අවස්ථාවක ඇඳන් උඩ යට හැමතැනම ලෙඩ්ඩු ඉන්න පින්තුරවලට අවඥාසහගතව නින්දා කරන අපි - චීනය වගේ දැවැන්ත රටකට පවා මේ වගේ අනපේක්ෂිත අවස්ථාවක කරකියා ගන්න දෙයක් නැති වෙන බව විතරක් තේරුම් ගන්නම ඕනේ. මැදහත් සිතින් හදිසි අවස්ථාවලට සහයෝගය දෙන්න ඕනේ.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන විදිහට ඔවුන් දින 6කින් ඉදිකරන මෙම රෝහලේ ඇඳන් සංඛ්‍යාව 1,000ක්. වර්ග මීටර 25,000ක හිස් ඉඩමක් දින දෙකක් යනවිට ගොඩනැගිල්ලක මූලික ආකෘතිය පවා හදා නිම කළා. මේ ගොඩනැගිල්ල දින 5ක් යනවිට ගුවනින් දිස් වූ ආකාරයම විශ්මයජනකයි.
මේකට අලුත් සැලැස්මක් හදන්න උත්සහ කළා නම් සමහරවිට මේ වැඩේ මීට වඩා දික්ගැස්සෙන්න තිබ්බා. ඒක වළක්වාගන්න ඔවුන් යොදාගත්තේ 2003 අවුරුද්දේ SARS වයිරසය වෙනුවෙන් බීජිං නගරයේ ඉදිවුණ රෝහලක ආකෘතියමයි.
හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ ලෝක සෞඛ්‍ය සහ සමාජයීය ඖෂධ පිළිබඳ දේශක ජෝන් කොෆ්මන් පවසන්නේ "ආසාදිත රෝගීන් සඳහා ආරක්ෂාව මෙන්ම රැකවරණය ලබාදෙන උපකරණ සහිත වෙන්වූ ආවරණ කලාපයක් මෙයින් සැකසෙන බවයි"
දින 6න් රෝහලක් ඉදිකළේ කොහොමද?
ඇත්තම කතාව වෙන්නේ, චීනය කොහොමත් මේ වගේ වෙලාවට වාර්තාගත වෙන විදිහට වේගවත්ව දේවල් ඉටුකරගන්න හරිම දක්ෂයි.
කලින් අපි කියපු 2003 බීජිංවල ඉදිකරපු රෝහල දවස් 7න් හදපු වාර්තාව බිඳහෙලන බවයි කියන්නේ. බීජිංවල වගේම වුහාන්හි ඉදිවන රෝහලත් ඉදිවෙන්නේ නවීන පෙර-සැකසූ ඉදිකිරීම් (prefabricated buildings) කොටස්වලින්.
මේ වැඩේ වෙනුවෙන්ම මුළු රට පුරාම ඉන්න දක්ෂතම ඉංජිනේරුවන් කැඳවන්න චීන රජය දෙපාරක් හිතුවේ නැහැ. කොළඹ වටේ එක රවුමක් ගියාම තේරෙනවනේ චීනය කියන්නේ ඉදිකිරීම් වෙනුවෙන්ම සුපිරි වැඩකරුවෝ කියල. චීනයම කියන විදිහට අහස උසට ඉදිවන ගොඩනැගිලි බටහිර රටවල්වලට හිතාගන්නවත් බැරි වේගයෙන් ඉදිකිරිම ඔවුන්ට තියෙන ශක්‍යතාවයක්.
වෛද්‍ය උපකරණ සම්බන්ධව ගත්තම, වූහාන් රෝහලට සමාගම්වලින් ඍජුවම මේවා ඇණවුම් කරන්න පුළුවන් - නැත්තන් රෝහල්වලින් ඉල්ලගන්න පුළුවන් මේ අවස්ථාවේදී.
Global Times සඳහන් කරන විදිහට තවම තහවුරු නොවුණත් - චීන මහජන විමුක්ති හමුදාවේ 150කින් යුතු වෛද්‍ය කණ්ඩායමක් වූහාන් වෙත පැමිණ සිටියා.
තොරතුරු - BBC වෙතින්
සේයාරූ - Getty Images
0 comments:
Post a Comment